Gossips

ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා ලබා ගැනීම ඇරඹේ

ලබන වසරේ පෙබරවාරි 7 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වුණා.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී නාම යෝජනා භාර ගැනෙන අතර, ලබන සඳුදා දිනයේදී ද නාම යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවේ සභාපති හිටපු අභියාචනාධිකරණ විනිසුරු පී.ඩබ්ලිව්.ඩී.සී.ජයතිලක ප්‍රකාශ කළේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් නිලවරණය දින නියමයක් නොමැතිව කල් යන බවට පළවන වාර්තා අසත්‍යයක් බවයි.
නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රීඩා සමාජ 83 ක් සහ සුදුසුකම් ලබා ඇති අතර, මුළු ඡන්ද සංඛ්‍යාව 144 ක්.
මෙවර දකුණු පළාත් ක්‍රීඩා සංගමයට සහ කළුතර කාය වර්ධන සංගමයට, ඡන්දය ප්‍රකාශ කිරීම අත්හිටුවා ඇති බව ක්‍රිකට් නිලවරණ කමිටුව කියා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපතිවරුන් දෙදෙනෙකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ සහකාර භාණ්ඩාගාරික යන තනතුරුවලට සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මෙම නිලවරණය පැවැත්වෙනවා.