Gossips

ක්‍රිකට් නිලවරණයට දුන් අතුරු තහනම විසුරුවා හැරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව අලූතින් නාම යෝජනා කැදවා ක්‍රිකට් නිලවරණය යලි පැවැත්වීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර අවසර ලබා දුන්නා.
ක්‍රීඩා පනතට අනුව කිී‍්‍රඩා අමාත්‍යවරයා, ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට නිලවරණය පැවැත්වීමට අදාල සැලැස්මක් සකස් කර ජූලි මස 04 වනදා ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සභාපතිත්වය දරණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල කාලය පසුගිය මස 31 වනදා අවසන් වූ අතර , ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය අද දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය මස 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, මෙවර නිලවරණයේදී සභාපති ධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින නිශාන්ත රණතුංග ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ක්‍රීඩා පනතට අනුව සහ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාලට මෙවර නිලවරණය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති බව සහ නිලවරණ කමිටුව පත්කිරීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බවට පවසමිනුයි නිශාන්ත රණතුංග මෙම පෙත්සම ගොනුකර තිබුණේ.