Gossips

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඉන්දියාවෙන් අතවර චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවට ඉන්දීය කාන්තාවන් දෙදෙනෙක් චෝදනා කරන බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබෙනවා.
ඉන් පළමු සිදුවීම වන්නේ හිටපු ගුවන් සේවිකාවක් තමන් මුහුණදුන් ලිංගික අඩත්තේට්ටම් කිහිපයක් පිලිබඳ තැබූ ෆේස් බුක් සටහනක් උපුටා දක්වමින් ඉන්දියා ටුඩේ පුවත්පත පල කරතිබෙන පුවතක්.
අදාළ ගුවන් සේවිකාව තමන් මුහුණදුන් එක් සිදුවීමක් ලෙස මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ පැවති තරගාවලියක් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකය අසලදී එවක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වූ රණතුංග නැමැත්තෙක් තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවයි.
කෙසේවෙතත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය මෙම පුවත පල කර තිබෙන්නේ හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙක් වන අර්ජුන රණතුංග මහතාට මෙම චෝදනාව එල්ල වන බවයි.
එමෙන්ම සිය නම හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ කාන්තාවක් පවසා තිබෙන්නේ වසර කිහිපයකට පෙර අයි.පී.එල් තරගාවලියක් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිය කාමරය තුලට තමන්ව රවටා රැගෙන ගිය බවයි.
මේ අතර අදාළ ක්‍රීඩකයා ලසිත් මාලිංග බව චින්මායි ශ්‍රිපාදා නම් ඉන්දීය ගායිකාවක් සිය ට්විටර් ගිණුම හරහා පවසන බව ඉන්දීය ඩෙකන් ක්‍රොනිකල් වෙබ් අඩවිය වාර්තා කරනවා.
කෙසේ වෙතත් බොහෝ ඉන්දියානුවන් මෙම සිදුවීම් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබෙන්නේ මේ දිනවල ඉන්දියාව තුළ පැතිර යන ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් හේතුවෙන් ඇතැමුන් ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ කරගෙන ව්‍යාජ සිදුවීම් නිර්මාණය කරන බවයි.