Gossips

ක්‍රිකට්වලට යලිත් අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අත්හිටුවීමෙන් පසු, තාවකාලික අතුරු පාලක කමිටුවක් පත් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ ජනාධිපතිවරයා මුණගැසීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කරනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සභාපතිත්වය දරණ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල කාලය අදින් අවසන් වන අතර, අද සැළසුම් කර තිබූ ක්‍රිකට් නිලවරණය ලබන මස 14 වනදා දක්වා පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, මෙවර නිලවරණයේදී සභාපති ධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින නිශාන්ත රණතුංග ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ක්‍රීඩා පනතට අනුව සහ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාලට මෙවර නිලවරණය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති බව සහ නිලවරණ කමිටුව පත්කිරීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බවට පවසමිනුයි නිශාන්ත රණතුංග මෙම පෙත්සම ගොනුකර තිබුණේ.