Gossips

කළු, ගිං ගංඟාවල සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් ගැන විමසිල්ලෙන් සිටින්නැයි, පහත්බිම්වල ජනතාවට උපදෙස් (ඡායාරූප)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළු සහ ගිං යන ගංඟා මෙන්ම අත්තනගලූ ඔය ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අද දිනයේදීත් වැසි අපේක්ෂා කරන බැවින්, ජනතාව එම ගංඟාවල ජල මට්ටම ඉහල යාම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම කළු ගඟ මිල්ලකන්ද ජල මාපකයේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහල ගොස් ඇති බව , වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අත්තනගලූ ඔයද දූනමලේ ජල මාපකයේදී සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරු 7.30 ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.
සුළු ගංවතුර තත්ත්වයක් ගිං ගෙඟ් බද්දේගම ජල මාපකයේ සටහන් වන බව එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර අධික වර්ෂාවත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවල පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සේවා සැළසීම සඳහා යුද හමුදාවේ සාමාජිකයින් 185 දෙනෙකු පිටත්කර යවා ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.
පැවති අධික වර්ෂාව හේතුවෙන් අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න නගරය ආශ්‍රිත ප්‍රදේශය ද ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ කාපට් ද ගැලවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඡායාරූප – අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර