Gossips

කළු ගඟ ජලාශයට ජලය පිරවීම අද

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරුණ කළු ගඟ ජලාශයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කිරීම සහ මොරගහකන්ද කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ සිදු කෙරෙනවා.
මෙහි සමාරම්භක උත්සවය ලග්ගල – කළුගඟ වේල්ල අසළදී පැවැත්වීමට නියමිතයි.
මහවැලි ව්‍යාපාරයේ අවසන් අදියර ලෙස ඉදි කෙරෙන මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය අක්කර අඩි හයලක්ෂ හැටහයදහසක් පුරා විහිදෙන අතර, ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි 23,000 ක්.
එම ව්‍යාපෘතියේ මේ වනවිට කර ඇති ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 10,112 ක මුදලක් වැය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප්‍රදේශයේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග්ගල – පල්ලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය වනවා.
මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර දශලක්ෂ 248 ක්.
මෙම ජලාශයේ ප්‍රධාන වේල්ලේ දිග මීටර 618 ක් වන අතර, උස මීටර 68 ක් වනවා.
එමෙන්ම මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර 9 ක දිගින් යුත් උමඟ සහිත ඇළ මාර්ගය ඉදිරි මාස 36 තුළදී අවසන් කිරීමට අපේක්ෂිතයි.
ව්‍යාපෘතිය යටතේ වවුනියාව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ප්‍රතිලාභ හිමිවනවා.
කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළු ගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙනගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000 ක පමණ ප්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපයීමෙන් අනතුරුව අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 25 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.
මේ අතර, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදුකෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමටද ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන ඊයේ (22) එක්වුණා.