Politics Sri Lanka

කළු ගඟේ ජලයට කරදිය මිශ්‍රවෙලා – පානයට නොසුදුසුයි

කළු ගඟේ ජලයට කරදිය මිශ්‍රවෙලා – පානයට නොසුදුසුයි

‍පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ක්ෂණිකව වෙනස් වන බැවින් මුහුදු ජලය කළු ගඟේ ජලයට මිශ්‍ර වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම නිසා ප්‍රදේශ කිහිපයක ජනතාවට කළු ගඟේ ජලය පානය කිරීම සඳහා සුදුසු නොවන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේවෙතත් අනෙකුත් දෛනික කටයුතු සඳහා එම ජලය භාවිත කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වාද්දූව, වස්කඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම, දර්ගා නගරය හා බෙන්තර යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.

අදාළ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බවුසර් මඟින් ප්‍රවාහනය කර පොදු ස්ථාන වල ටැංකි පුරවා ජලය ලබාදීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙම අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් 2016 වසරේ නොවැම්බර් 15වනදා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පවත්වමින් ආණ්ඩුවේ අවධානයට යොමු කළ අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ.