Gossips

කළු, කැළණි, ගිං, නිල්වලා ගංඟා මෙන්ම අත්තනගලු සහ මා ඔයේ ජල මට්ටම් පහළට

වැසි කාලගුණයත් සමඟ ගං වතුර අවදානමක් පැවති කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලුඔයේ සහ මාඔයේ ජල මට්ටම මේ වන විට පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ ගත වූ පැය 9ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ජල පෝෂක ප්‍රදේශවලට ලැබී නොමැති බවයි.
මේ අතර, අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ දැනුම් දුන්නා.
ඊට අමතරව මා ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් බඩල්ගම සහ ගිරිඋල්ල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාව ද අවධානයෙන් සිටිය යුතු බවයි එම මධ්‍යස්ථානය ඊයේ නිවේදනය කළේ.
දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් 138292ක් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවයි.
පවුල් 13,199 කට අයත් පුද්ගලයින් 53,616 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 231 ක රඳවා සිටිනවා.
නිවාස 3841 කට අර්ධ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 64 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.
මේ අතර, මධ්‍ය කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘතව පවතිනවා.
එමෙන්ම තබ්බෝව ජලාශයේ වාන්දොරටු 12ක් තවදුරටත් විවෘත බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එසේම, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර, අද දිනයේදීත් වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තරමක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් අද අලුයම නිකුත්වූ නවතම වාර්තාව පහතින්.