Gossips

කළබල මැද කොළඹ මහනගර සභාව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරයි

කොළඹ මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 45,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවක් ඊයේ පැවති මහා සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, එම යෝජනාව සම්මත කරගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි අවස්ථාවකදී වීම විශේෂත්වයක්.
කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව මෙතෙක් පැවතියේ රුපියල් 20,000 ක් ලෙසයි. එය 45,000 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවේ නගරාධිපතිනි රෝසි සේනානායක විසින්.
එම යෝජනාව පසුගිය 13 වනදා නගර සභාවේ මුදල් පිළිබද කාරක සභාව ද අනුමත කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ දිනයේ මහා සභා රැස්වීමේදී විවාදයට ගැණුනු අතර, ඒ පිළිබදව පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 68 ක් හිමිවුණා. වි
පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 7 ක් පමණයි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු එලෙස විපක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.
ඒ ඔවුන් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් නිසා සභා ගර්භයෙන් ඉවත්ව නගර සභා පරිශ්‍රයේ විරෝධතාවයක නිරතවීම හේතුවෙන්.
මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ මහනගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත කුමාර කියා සිටියේ යෝජනාවට පක්ෂ වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබූ අවශ්‍යතාවය මත ඔවුන් සභා ගර්භයෙන් ඉවත්ව විරෝධතාවයක නියැලූණු බවයි.
එම චෝදනාව සම්බන්ධයෙන් අප කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරාගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ නගරාධිපතිනියගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව පිටතට පැමිණ විරෝධය පළ කරන අවස්ථාවේදී එම යෝජනාව සම්මත කර ගෙන ඇති බවයි.
එහෙත්, තම කණ්ඩායම ද ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටි බවයි ඔහු කියා සිටියේ.
එම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙන් විමසීමට උත්සාහ කළ ද, ඇය දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.