Gossips

කළණගේ දුක සැප බලන්න තෙවරප්පෙරුම යයි

දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් පාදයට ඇති වූ තුවාල නිසා පීඩා විදින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියාගේ තත්ත්වය සොයා බැලීම සඳහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද එම දේවාලයට පැමිණියා.
ඒ, මෙම හස්තියා ඉදිරි දකුණු පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මාස කිහිපයක සිටම පීඩාවට පත්ව සිටින ආකාරය පසුගිය දා හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කිරීමෙන් අනතුරුවයි.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, අද දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණියේ මාතර වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සමඟයි.
එහිදී දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම්වරයා එම ස්ථානයට කැදවූ නියෝජ්‍ය අමාත්‍යවරයා සත්ත්වයාගේ තත්ත්වය ගැන විමසීමක් කළා.
පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා හස්තියාගේ හිමිකාරීත්වය සම්බන්ධ බලපත්‍ර පරීක්ෂා කළ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කළණ හස්තියා ලියාපදිංචි කර ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී බවයි.
එසේම හස්තියාගේ අපද්‍රව්‍ය ජනතාව ගැවසෙන ස්ථානයකට බැහැර කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, වනජීවි නිලධාරීන් සමඟ ගන්දර පොලීසියට ගොස් සත්ත්ව හිංසනය සහ මහජන පීඩාව යටතේ හස්තියාගේ භාරකාරීත්වයට එරෙහිව පැමිණිල්ලක් ද ගොනු කළා.