Gossips

කසුන්ගේ ගිනි අවිය දකුණ රත් කරයි

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් අද (20) දකුණු පළාත් සභා සැසි වාරයට සහභාගි වුණා.
ඒ බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.
පෙරවරු 9.30 ට ආරම්භ වූ සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදහස් දැක්වීමෙන් අනතුරුව එම්.කේ. කසුන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන්ට සහ අත්අඩංගුවට ගත් බිරිදට සාධාරණය ඉටුවිය යුතු බවයි.
2003 වර්ෂයේදී කොළඹ අධි ආරක්ෂිත කලාපයේදී තම පියා වූ එම්.කේ. රංජිත්ගේ ඝාතනය සිදුවන අවස්ථාවේ කිසිවෙකු ළඟ නොසිටීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
ඔහු සඳහන් කළේ පසුගිය දා ඇති වූ සිද්ධියේදී තමාගේ ආරක්ෂාව වෙනුවෙන් බිරිඳ පෙනී සිටි බවයි.
එම අදහස් දැක්වීමෙන් අනතුරුව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ද ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සභාව තුළ නැගී සිටිමින් කියා සිටියේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිතවලට අනාරක්ෂිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි.
මෙලෙස දකුණු පළාත් සභාව නියෝජනය කරන පක්ෂ, නිළ ගිනි අවි සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීමත් සමඟ ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්.
අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පසුගිය 13 වන දා නියෝග කළා.