Gossips

කසල කන්දක් නිසා ජනතාවට පීඩා

සීතාවකපුර නගර සභාවට අයත් අවිස්සාවේල්ලල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කන්ද නායයාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් 8 කට නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් එම පවුල්වල පදිංචි පුද්ගලයින් පවසන්නේ පදිංචි ස්ථානවලින් ඉවත්ව යාමට තමන්ට නොහැකි බවයි.
සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස්වන කසළ බැහැර කිරීම සිදුකරන්නේ අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයටයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ වසර 20 ක පමණ සිට කසළ බැහැර කිරීම හේතුවෙන් මේ වන විට අඩි 80 ක පමණ උසින් යුත් කසළ කන්දක් නිර්මාණය වී ඇති අතර එයින් තමන්ට චර්ම රෝග, ශ්වසන රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවක් මතුව ඇති බවයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ බලපෑම මත මේ වන විට කසළ කන්ද නායයාමේ අවදානමක් මතුව තිබෙනවා.
මේ අතර කසළ කන්ද නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ පස්වරුවේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරිය පැමිණ තිබුණා.
පසුව කසළ කන්ද ආසන්නයේ පදිංචි පවුල් 8 ක ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට ග්‍රාම නිලධාරිවරියගේ අත්සනින් යුතුව ලිපි මගින් දැනුම් දී ඇති අතර එම ලිපි භාරගෙන ඇත්තේ පවුල් 4 ක් පමණයි.
මෙම කසළ කන්ද ආසන්නයේ නිවාස 100 කින් පමණ සමන්විත රාජ්‍ය සේවා ගම්මානය සහ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයත් කැලණිවැලි දුම්රිය මාර්ගයත් පිහිටා තිබෙනවා.
අනෙකෙකුගේ කසළ හේතුවෙන් කලක පටන් තමන් මුහුණ දෙන පීඩාකාරී මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී විරෝධය පළ කළත් බලධාරීන් නෑසූකන්ව සිටීමේ ප්‍රතිඵල අද අත්විඳීමට සිදුව ඇත්තේ කසළ කන්දට කිසිදු අයිතිවාසිකමක් නැති ජනතාවටයි.
අදින් වසර දෙකකුත් දින 5 කට පෙර ලෝකයේම අවධානයට පාත්‍ර වූ මීතොටමුල්ල ඛේදවාචකය මෙන් තවත් ඛේදවාචකයක් බිඳෙන් බිඳ මෙලෙස ගොඩනැගෙන්නට ඉඩහැර වගකීම් විරහිත ලෙස ක්‍රියාකිරීමට බලධාරීන්ට තවත් දිරිය තිබීම කනගාටුවට කරුණක්.