Gossips

කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් (ඡායාරූප)

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින කීපයක් ගතව තිබියදී කලාවැව ඉස්මත්තේ තිබී සොයාගත් බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ කවුරුන්ද යන්න හඳුනාගැනීමට නොහැකි තත්ත්වයට සිරුර විනාශ වී ඇති බව ගල්කිරියාගම වනජීවි අඩවි සහකාර ඩී. රාමසිංහ සඳහන් කළා.
මෙම මළසිරුර වන අලි පහර එල්ල වී දින දෙකකට පමණ කාලයක් ගතව තිබියදී සොයාගැනීමට හැකි වූ බවත් කිසිදු ආකාරයෙන් මෙම ජාතික උද්‍යානයට රහසිගතව ඇතුළුවීමට තහනම් කොට තිබියදී මෙම පුද්ගලයා පැමිණ ඇති බව ද හෙතෙම සඳහන් කළා.
කලාවැව් රක්ෂිතයේ සිටින ගවයන් නිරන්තරයෙන් රාත්‍රී කාලයේ සොරාගැනීම් සිදුවෙන බවත් එමෙන්ම එම වනාන්තරයේ ඇති ගල්තලාවල නිදන් සෙවීම, වන සතුන් දඩයම, ආදී කටයුතු මෙන්ම විවිධ අපචාර කටයුතු දීනපතා සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා තනියම මෙම වනජීවී කලාපයට ඇතුල් වුණේ ද එසේත් නොමැති නම් තවත් පිරිසක් සමග ඇතුළු වී වන අලි පහරදීමත් සමග ඔවුන් පළා ගියේ ද යන්න පරීක්ෂණ පවත්වන බව ගල්කිරියාගම පොලිසිය පවසනවා.
අදාළ ස්ථානයේ සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වන අලින් නිරන්තරයෙන් එම ස්ථානයේ ගැවසෙන බවත් එමෙන්ම වන අලි විසින් පහරදී ඇති බවට සාධක රැසක් සොයා ගත් බවත් ගල්කිරියාගම පොලිසිය පවසනවා.
ගල්කිරියාගම පොලිසියේ මූලික වාර්තා අනුව කැකිරාව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අධිකරණ පරීක්ෂණයක් පැවැත්වූ බවත් එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව මූලික රෝහල වෙත රැගෙන ගිය බවත් ගලේවෙල ගල්කිරියාගම පොලිසිය පවසනවා.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස