Gossips

කලාපයේ ආරක්ෂාව තහවුරු වන ලෙසට කටයුතු කරන්න – ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියාවට සහ පකිස්ථානයට ඉල්ලීමක්

සමස්ත කලාපයේ ම ආරක්ෂාව, සාමය හා ස්ථාවර බව තහවුරු වන ආකාරයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ඉන්දියාවේ පුල්වාමා හිදී පොලිස් රථ පෙළක් ඉලක්ක කර පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්වන බවයි.
ඒ අනුව ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යාමාන වීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට සිය තිර සහයෝගය ලබාදෙන බව එම නිවේදනයේ සදහන්.
මෙම අවස්ථාවේ සමස්ත කලාපයේ ම ආරක්ෂාවල සාමය හා ස්ථාවර බව තහවුරු වන ආකාරයෙන් කටයුතු කරන ලෙසටයි එම නිවේදනය මගින් ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, දේශ සීමා මුල්කරගත් ඉන්දු – පාකිස්තාන අර්බුදය යුදමය වාතාවරණයක යොමු කරමින් දෙවන දිනටත් ප්‍රහාරයක් සදහා පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙලීමට පාකිස්තානය කටයුතු කළා.
මේ අතර, ඉන්දියාවේ සිටින පාකිස්ථාන වැඩබලන මහකොමසාරිස්වරයා කැදවු එරට විදේශ අමාත්‍යාංශය පාකිස්තානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඉන්දු – පාකිස්තාන දේශ සීමාවේ කාශ්මීරයේ පාකිස්තානයට අයත් පාලන ප්‍රදේශවල ක්‍රියාත්මක ත්‍රස්ත කදවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සදහා ඉන්දීය ප්‍රහාරක යානා දෙවන දිනටත් පාකිස්තාන ගුවන් සීමාව ආක්‍රමණය කළා.
එහිදී පාකිස්තාන ගුවන් හමුදාව ඉන්දීය ජෙට් යානා වෙත ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.
පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆුර් ට්විටර් පණිවුඩයක් මගින් පවසන්නේ එක් ඉන්දීය ප්‍රහාරක යානයක් කාශ්මිරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයටත් අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටත් කඩා වැටුණු බවයි.
කෙසේ වෙතත්, කාර්මික දෝෂයක් හේතුවෙන් තම මිග් ප්‍රහාරක යානයක් කඩා වැටුණු බවත් එක් නියමුවෙකු අතුරුදන් වූ බවත් ඉන්දියාව පවසනවා.
පාකිස්තාන ප්‍රතිප්‍රහාර හමුවේ විනාශ වූ ඉන්දීය ජෙට් යානා දෙකෙහි නියමුවන් පාකිස්තාන අත්අඩංගුවට පත්වන බව පැවසෙන දර්ශන ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, තුවාල ලැබූ ඉන්දීය නියමුවාට ගිලන් රථයක් පැමිණෙන තුරු සංසුන්වන ලෙස පාකිස්තාන සෙබළු කියන ආකාරය විදෙස් මාධ්‍යයන්හි අවධානයට ලක්ව තිබෙනවා.
මේ අතර, ඉන්දීය ප්‍රතිප්‍රහාර හමුවේ පාකිස්තාන ජෙට් යානයක් බිම හෙලූ බවට ඉන්දීයාව පැවසුවද පාකිස්තානය එය ප්‍රතික්ෂේප කළා.
දේශ සීමා මුල්කරගත් ඉන්දු -පාකිස්තාන අර්බුදය යළි උත්සන්න වූයේ පසුගිය 14 වැනිදා කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වෙත පාකිස්තානයේ ක්‍රියාත්මක ජයිෂී මෙහොමඩ් ත්‍රස්ත කණ්ඩායම දියත් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමගයි.
ඉන්දියාව පාකිස්ථාන ගුවන් කලාපයට ද ඇතුළු වී එරට ක්‍රියාත්මක ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේ ඊට ප්‍රතිචාර ලෙසයි.
මේ අතර, පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ කරච්චි සහ ලාහෝර් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා.
න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ දකුණු ආසියානු කලාපයේ බලවත් රාජ්‍යයන් දෙකක් අතර උද්ගතව ඇති තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවලට කෙසේ බලපායිද ?