Gossips

කලාකරුවන් මහා සිනමාවේදියාගේ සම්මානය ඉල්ලයි – පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් අරඹයි

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු අතරතුර අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය සොයා ගැනීම සදහා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ උපදෙස් මතයි.
මේ අතර, කලාකරුවන් ඉල්ලා සිටින්නේ මෙය කිසිවෙකු විසින් සොරාගෙන ඇත්නම් එය යළි ලබාදෙන ලෙසයි.
2000 වසරේ ජනවාරි මාසයේ පැවති දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම යාවජීව ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.
පවුලේ ඥාතීන් පවසන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම යාවජීව සම්මානයට දැඩි සේ ඇලූම් කළ බවයි.
අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු ඊයේ දිනයේදී මෙම සම්මානය නිවසින් අතුරුදන්ව තිබුණා.
ඊයේ උදෑසන දේහය නිදහස් චතුරස‍්‍රය වෙත රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික උත්සව වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන් වී ඇති බවයි පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්ව ඇත්තේ.
ප්‍රවීන සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙණිය, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළේ කිසිවෙකු මෙම සම්මානය සොරාගෙන ඇත්නම් යළි එය ලබාදීමට කාරුණික වන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බවයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.