Gossips

කලහකාරී ලෙස හැසිරුණු 230ක් අත්අඩංගුවට – මහනුවර වැසූ පාසල් හෙට විවෘත වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පැවති තත්ත්වය හමුවේ පසුගිය 07 වන දා සිට දින නියමයක් නොමැතිව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමටයි තීරණය කෙරුණේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරි තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 161 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක එවැනි ආකාරයට කලහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත්, තවදුරටත් එම ප්‍රදේශවල ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ප්‍රදේශයේ අද (11) පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එමෙන්ම රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇති වුවහොත් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන් මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10) පැවති ආරක්ෂක කමිටු රැස්වීමේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම ගැටුමකදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසියට සහ හමුදාවට සහයදීම දිසාපතිවරුන්ගේ මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්ය බව ද විෂය භාර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මේ අතර, නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම හෙට (12) සිට යථා තත්ත්වයට පත්වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
හෙට දිනයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය බදාදා සිට ෆේස් බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස් ඇප් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කරනු ලැබුවේ ඒ ඔස්සේ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ පුවත් වාර්තා වීමත් සමඟයි.
එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා මේ මස 22 වන දා දක්වා මාකොළ තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගත් මෙම පාසල් සිසුන් මිනුවන්ගොඩ සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.