Gossips

කර්මාන්ත ශාලාවක් නිසා හලාවත උණුසුම් වෙයි

හලාවත – ආරච්චිකට්ටුව – ආනවිලූන්දාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සෙවිලි තහඩු කර්මාන්ත ශාලාවකින් හමන දුඟද හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.
ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ පස්වරුවේ අදාළ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
ප්‍රදේශවාසීන් ඊයේ පස්වරුවේ අදාළ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ ඉන් දැඩි දුර්ගන්ධයක් හමා ඒම හේතුවෙන් එය වසා දමන ලෙස ඉල්ලමින්.
විරෝධතාවය පාලනය කිරීමට ආරච්චිකට්ටුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර, එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
කෙසේ වෙතත්, පසුව එම ස්ථානයට හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි අතර, ඔහු කර්මාන්ත ශාලාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර කර්මාන්ත ශාලාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමටත් සමඟයි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියේ.
මෙම ගැටලූව පිළිබඳව අද දිනයේදී ඊට සම්බන්ධ සියලූ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර, එහිදී තීරණය වී ඇත්තේ ගැටලූවට නිසි විසඳුමක් ලැබෙනතුරු එළැඹෙන අඟහරුවාදා දිනය දක්වා කර්මාන්ත ශාලාවේ කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදීමටයි.