Gossips

කරන්දෙනියේ ඝාතන ආරවුල සැඟවීමේ උත්සහයක් – වෙඩි තැබූ සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම් (ඡායාරූප)

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර වෙඩි තබා ඝාතනය කිරීමට හේතු වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් බව මේ වන විට තහවුරු වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම අනෙක් පාර්ශවය ද එම ආරවුල පිළිබද පැහැදිලි තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින බවයි විමර්ශන මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
එසේම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පිළිබදව ද මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව ඔහු කියා සිටියා.
පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වී ඇත්තේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා පපු ප්‍රදේශයට වෙඩි උණ්ඩ 7ක් ද, හිසට එක් වෙඩි උණ්ඩයක් ද වැදී මිය ගොස් ඇති බවයි.
පෙරේදා (08) රාත්‍රියේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදී උප සභාපති ඩොනල්ඩ් සම්පත්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර, කැබ් රථයේ සිටි රියදුරුගේ එක් අතකට ද එහිදී තුවාල සිදුවුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පසුව රෝහල්ගතව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු පාතාල සාමාජික කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු බවයි.
ඒ අනුව ඩොනල්ඩ් සම්පත් සහ කොස්ගොඩ සුජී අතර කලක පටන් පවතින පෞද්ගලික ආරවුලක්, මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඩොනල්ඩ් සම්පත් රණවීර එම ප්‍රදේශයේ ඉඩම් කැබලි කර විකිණීිමේ ව්‍යාපාරයක් සිදුකර ඇති අතර, ඊට කොස්ගොඩ සුජිගේ සහ ඔහුගේ ගෝලයින්ගේ ආධාර අනුබල ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පසුව ඔවුන් දෙපාර්ශවය විරසික වී ඇති අතර කරන්දෙනිය – යුදපිටිය ප්‍රදේශයේදී පසුගිය දා ඝාතනය වූ පියා සහ පුතු ද උප සභාපති ඩොනල්ඩ් සමඟ සබදකම් පවත්වා ඇති බව සඳහන්.
ඝාතනයට ලක්වූ කරන්දෙණිය ප්‍රාදේ්ශීය සභාවේ උපසභාපතිවරයාගේ එකම සහෝදරයා වන ඩොනල්ඩ් කුමාර රණවීර පසුගිය පලාත් පාලන මැතිවරණයට පෙර ගිනි අවි 03ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිිබෙනවා.
ඔහුට අයත් කරණ්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බෝර 12 ගිනි අවි 02ක් සහ විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක් ද පසුව සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.