Gossips

කරන්දෙනියේ උප සභාපති ඝාතනයේ සැකකරුවෙකු ටී – 56 මැගසිනයක් සමඟ අත්අඩංගුවට – පාතාල ගැටුමක් බවට තොරතුරු

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශගතව සිටින පාතාල සාමාජික කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඊයේ (08) රාත්‍රියේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණි මොහු ඌරගස්මංහන්දිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
22 හැවිරිදි මෙම සැකකරුගේ ගමන් මල්ලේ තිබී ටී – 56 මැගසිනයක් සහ උණ්ඩ 30ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
ඊයේ රාත්‍රියේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදී විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී පැමිණෙමින් සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර, එහිදී කැබ් රථයේ සිටි රියදුරුගේ එක් අතකට ද තුවාල සිදුවුණා.
සිද්ධිය වන අවස්ථාවේ කැබ් රථයේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයාගේ හිතවතෙකු සිට ඇති අතර, එහිදී ඔහුට හානියක් සිදුවී නැහැ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති අතර, එහිදී කැබ් රථයට වෙඩි ප්‍රහාර 15ක් එල්ල වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළා යමින් සිටියදී අදාළ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයට මීටර් 100ක් දුරින් අනතුරකට ලක්වී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව සඳහන්.
පසුව සැකකරුවන් යතුරුපැදිය දමා පළා ගිය අතර, ඔවුන්ගේ ජංගම දුරකථන දෙකක් අනතුර සිදුවූ ස්ථානයේ තිබී පොලීසිය සොයා ගනු ලැබුවා.
අනතුරට ලක්වීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුවයි පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ.
වෙඩි තැබීමට පැමිණි අවස්ථාවේදී සැකකරුවන් බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කළා.
48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
ඔහු කලක සිට විදේශගතව සිටින පාතාල නායක කොස්ගොඩ සුජී සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
එම ආරවුල දුරදිග යාමත් සමඟ ඔහුගේ ගෝලයන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමට පැමිණි අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මිය ගිය උප සභාපතිවරයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා. වෙඩි වැදුණු රියදුරු ද වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.