Gossips

කඹුරුපිටියේ සැමියෙකු නිදා සිටි බිරිඳට ඇසිඩ් ගසයි

කඹුරුපිටිය – බෝලගෙවත්ත – රත් කැකුලාව ප්‍රදේශයේ නිවසක නිදා සිටි කාන්තාවකට සහ ඇයගේ දියණියට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රි 10 යි 30 ට පමණ එල්ල වූ මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි තුන්දරු මවක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ඇගේ 7 හැවිරිදි දැරිය මේ වනවිට කඹුරුපිටිය – ආඳපාන රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ දැරිය පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ සිය මවගෙන් වෙන්ව සිටින පියා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි කඹුරුපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමට හේතුව අදාළ කාන්තාවගේ අනියම් සබඳතාවක් බව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඇය මීට වසර කිහිපයකට පෙර තවත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, විදේශ ගතව සිටි අදාළ පුද්ගලයා යළි දිවයිනට පැමිණි පසු, එම සබඳතාව යළි ඇති වීම මෙම සිද්ධියට හේතුවයි.
ඒ අනුව, ඇගේ නීත්‍යානුකූල සැමියා මීට මාස 5 කට පමණ පෙර වැඩිමහල් දරු දෙදෙනා ද සමඟ ඇගෙන් වෙන්වී සිට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.