Gossips

කමිටු සභාපති, කොකේන් චෝදනාවෙන් සියලූ මන්ත්‍රීවරුන් නිදහස් කරයි

කොකේන් භාවිත කරන කිසිදු මන්ත්‍රීවරයෙකු වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබදව අද මහනුවර – වත්තේගමදී අදහස් පළ කරමින්.
රන්ජන් රාමනායක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව, කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබදව විමර්ශනය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් ද පත් කළ අතර, එහි ප්‍රධානත්වය දරන්නේ ද, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි.
මහනුවර – වත්තේගම අද පැවති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම කමිටු වාර්තාව ලබන සදුදා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන බවයි.
එසේම, එය ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියා සිටියා.
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ කමිටුව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද ප්‍රකාශයක් ලබාදුන්නා.
මේ අතර, මෙම ගැටලූව විසදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානයේ සහ මහා සම්මතවාදී ජාතික පෙරමුණේ නියෝජිතයින් අද කතානායක නිල නිවසට ගොස් කතානායකවරයා වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා.