Gossips

කම්කරු දිනය 7 වැනිදාට යෙදීම ගැන රජය සහ වෘත්තීය සමිතිවල පරස්පර අදහස්

ලෝක කම්කරු දිනය මැයි 07 වනදා සැමරිමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ ඇතැම් පාර්ශවයන් දක්වන්නේ එකිනෙකට පරස්පර අදහස්.
මැයි 7 වනදා කම්කරු දිනය සැමරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරිම සම්බන්ධයෙන්, ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයේදී තවදුරටත් සාකච්ඡා කර තිරණයක් ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.
කෙසේ වෙතත්, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර කියා සිටියේ මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන්නේ නම් එය නිවාඩු පනතට පටහැනි බවයි.
එසේ වුවහොත් මැයි පළවනදා රජයේ නිවාඩුව අවලංගු වන බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, අප ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක මධ්‍යම පලාත් කෘෂීකර්ම අමාත්‍ය එම්.රමේෂ් ගෙන් සිදුකල විමසිමකදි ඔහු කියා සිටියේ රජයේ තීරණය අනුව මැයි 07 වනදා වතුකරයේදී කම්කරු දිනය සැමරිමට තම පක්ෂය තීරණය කර ඇති බවයි.
මේ අතර, ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කම්කරු දින සැමරුම මැයි පළවනදා සමරන්නේ ද නැතිනම් මැයි 7 වනදා සමරන්නේ ද යන්න පිලිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
මේ අතර, නිදහස් වෙළඳ කලාප සේවකයින් ද නියෝජනය කරන එක්සත් කම්කරු සම්මේලනය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මැයි 7 වනදා කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් තම සම්මේලනය සිය විරෝධය පළ කරන බවයි.