Gossips

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩමවීම හෙට රාත්‍රියේ

සම්බුදු තෙමගුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට යළි වැඩම කරවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
අනුරාධපුර -ජේතවනාරාම පින් බිමේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ ධාතු වහන්සේ වස්කඩුව ශ්‍රී සුභුති විහාරය දක්වා යළි ගමන් වැඩම කිරීම ආරම්භ කළේ අද උදෑසනයි.
දහවල් බුද්ධ පූජාව සඳහා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ගල්ගමුව අලූත්හේරත්ගම ශ්‍රී උපතිස්සාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරුණු අතර එහිදී විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්ට ද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට ද අවස්ථාව හිමි වුණා.
ගිලන්පස පුජාව සඳහා නාරම්මල – දම්පැලැස්ස විද්‍යාලංකාර රජමහා විහාරස්ථානයේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරනු ලැබුවා. සැදැහැවතුන් විශාල පිරිසක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මෙම විහාරස්ථානය වෙත පැමිණ සිටියා.
ඉන් අනතුරුව කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අත්තනගල්ල රජමහා විහාරය වෙතත් වැඩම කරවනු ඇති.
ඉන් පසුවයි හෙට රාත්‍රියේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට යළි වැඩමවීම සිදුවන්නේ.
හිරු උත්තම ධාතු වන්දනා, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික ජේතවනාරාම පින් බිමේදී පසුගිය සඳුදා අලූයම ආරම්භ වුණේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේයි.
එහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුරා නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ජේතවනාරාම පූජා භූමියේ පිහිටි විශේෂ කුටියේ තැන්පත් කෙරුණා.