Gossips

කඳුකර අරගලයෙන් මස්කෙළිය නොසන්සුන් – අත්තනගල්ලේත් අවුලක්

මස්කෙලිය සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට යාමේදී අද (28) උණුසුම් තත්ත්වයන් මතුවුණා.
මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීම අද(28) උදෑසන ආරම්භ වූ අතර, එහිදී සභාව නොසන්සුන් වූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් අතුරුදන්වූ පුවතක් හේතුවෙන්.
අමාත්‍ය පලනි දිගම්බරන් නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වු මන්ත්‍රීවරුන් එහිදී ප්‍රකාශ කළේ කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්මඩන් පාර්ශවය විසින් ඇයව සඟවාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, නොසන්සුන්තාවය මැද සභාවේ කටයුතු ආරම්භ කෙරුණු අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉදිරිපත් වූ අපේක්ෂිකාවක් සභාපතිවරිය ලෙස තේරී පත්වුණා.
එම කටයුතු මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා යටතේ සිදුවු අතර, එහිදී ඇතිවුයේ උණුසුම්කාරී තත්ත්වයක්.
කෙසේ වෙතත්, සභාපතිවරිය තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසය සහ කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් අතර, මස්කෙලිය පොලිසිය ඉදිරිපිටදී යළි ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ දෙපාර්ශවය අතර, එහිදී ගල් මුල් හුවමාරු වූ බවයි. සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.
පොලිස් කැරලි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය කැඳවීමෙන් අනතුරුව ගැටුම පාලනය කළ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
එමෙන්ම, දිඹුල – පතන ප්‍රදේශයේ පිහිටි කම්කරු ජාතික පෙරමුණේ කාර්යාලයකටද ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් අද දහවල් පහරදී තිබුණා.
එසේම නුවරඑලිය – අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමද අද (28) සිදුකෙරුණු අතර, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.
ඊට ලංකා කම්කරු කොංග්‍රසය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහය දැක්වූ බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම අද සිදුකෙරුණේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන්.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සභාවෙන් පිටව ගොස් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවී තිබෙනවා.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රිවරයෙකු සභාපතිවරයා ලෙස තේරී පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් විරෝධය පළ කළා.
rnrn