Gossips

කන්දකාඩු සාමකාමීයි

ත්‍රිකුණාමලය – කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා.
එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පත් කර ඇති බවයි ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ උණුසුම්කාරී තත්ත්වය ඇති වූ ප්‍රදේශයේ සේවයේ යොදවා සිටි නාවික හමුදා සෙබළුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මහවැලි ගඟේ අනවසර වැලි ගොඩ දැමීම් මැඩලීමට පිහිට වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නාවික හමුදාවේ සහය ඇතිව කින්යා කන්දකාඩු ප්‍රදේශයේ ඊයේ මෙම මෙහෙයුම දියත් කළා.
එහිදී වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන් තුන් දෙනෙකු ගඟට පැන පිහිනා පළායාමට උත්සහ කර තිබූ අතර දෙදෙනෙකු දියේ ගිලී තිබුණා.
එක් අයෙකුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණේ ත්‍රිකුණාමලය මහ රෝහලේදීයි.
එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට ප්‍රකාශ කර තිබෙනවා.
දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර ඊයේ ඇති වූ මෙම සිද්ධියේදී තුවාල ලැබූ නාවික හමුදා සෙබළුන් 12 දෙනාගෙන් සිව් දෙනෙකු තවදුරටත් ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.