Gossips

කන්ජිපානි ඉම්රාන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි

ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, කොස් මල්ලී ඝාතනයට සහ පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
කංජිපානි ඉම්රාන් මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය ඊයේ අවසර ලබාදුන්නා.
ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම පිළිබඳව සලකා බලමිනුයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
එසේම, කංජිපානි ඉම්රාන් මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා ලබන මැයි 8 වනදා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.