Gossips

කථිකයන් නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබේ

විපක්ෂයේ කථිකයින් නොමැතිවීම සහ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර අද කල් තැබීමට සිදුවුණා.
ඒ අනුව මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි හෙට පෙරවරු 10 දක්වා සභාව කල්තැබීමට පියවර ගත්තා.
බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ කථිකයින්ට අවස්ථාව ලබාදුන්නත්, එම අවස්ථාවේදී විපක්ෂයේ කථිකයින් සභා ගර්භය තුළ රැඳී සිටියේ නැහැ.
ඒ අනුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්ම උදයශාන්ත, කනක හේරත්, ඉන්දික අනුරුද්ධ, චාර්ල්ස් නිර්මලනාදන්, සුනිල් හඳුන්නෙත්ති සහ ඩග්ලස් දේවානන්දාට විවාදයේදී අදහස් දැක්වීමට නම් ප්‍රකාශ කළා.
ඔවුන් නොමැතිවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට පිළිතුරු කතාව සිදුකිරීමට අවස්ථාව ලබාදුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
පසුව සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් සිසුන් හා උපාධිධාරීන් පිරිසකට ජපන් ශිෂ්‍යත්ව ලබාදීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති විසින්.
එහෙත් එම අවස්ථාවේදී ඔහුද සභා ගර්භයේ රැඳී නොසිටීම හේතුවෙන් සභාව කල් තැබීමටයි නියෝජ්‍ය කතානායකවරයා පියවර ගත්තේ.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉරානයට ඇමරිකාව විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.