Gossips

කතානායකවරයාගෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හෝ ඊට අනුබද්ධ වෙනත් සමාගම්වලින් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලබාදෙන ලෙස කතානායකවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ දිනයේ කතානායකවරයා විසින් මෙම ලිඛිත ඉල්ලීම සිදුකර ඇති බවයි.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණු මත අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පිළිබඳව පසුගිය කාලසීමාව තුළ දැඩි කතාබහක් ඇතිවුණා.
පසුව කියැවුණේ මෙම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු සිටින බවයි.
දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මිලියනයක චෙක්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවා.
මැතිවරණ ව්‍යාපාරය තුළ තමන්ගේ ඍජු මැදිහත්වීමකින් තොරව එම මුදල ලබාදී ඇති බවයි ඔහු කියා සිටියේ.
මීට අමතරව දින කිහිපයකට පෙර අමාත්‍ය සරත් ෆොන්සේකාද මැතිවරණ ව්‍යාපාරයේදී අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් ලක්ෂයක මුදලක් තමන්ට ලබාදුන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළා.
මෙවැනි පසුබිමක් තුළ විවිධ දේශපාලන පක්ෂ එකිනෙකාට චෝදනා කරගනිමින් මෙම 118 දෙනාගේ ලැයිස්තුව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා.
මේ අතර, ඊයේ දිනයේදී මෙම මන්ත්‍රී නම් ලැයිස්තුව ලබාගැනීමට ඇති බාධාවක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වුණා.
එමඟින් කියැවුණේ මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සී-350 දරන ලේඛණය ඇතුළු සෙසු රහස් ලේඛණ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.
ජනාධිපති කොමිෂන් සභාවක වාර්තාවක් එලෙස ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ලේඛණාරක්ෂක නීතියට අනුව බාහිර පාර්ශවයක් වෙත නිකුත් කළ හැක්කේ වසර 30 කට පසුව බවද වාර්තා වුණා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස මන්ත්‍රීවරුන්ට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් කතානායකවරයාට අදාළ නම් ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් යොමුකිරීමේ හැකියාව පවතිනවා.
ඒ අනුවයි ජනාධිපති ලේකම්වරයා වෙත මෙම මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය ලිඛිතව දන්වා ඇත්තේ.
මේ අතර, එළඹෙන පාර්ලිමේන්තු සතියේ ආරම්භක දිනයේදී මෙම නම් ලැයිස්තුව ඉදිරිපත් කර වංචාවට සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද කතානායකවරයාට ඊයේ (31) ලිපියක් යොමුකරනු ලැබුවා.