Gossips

කණ්ඩායම ජාත්‍යන්තර තලයට රැගෙන ගිය සුපිරි ක්‍රිකට් තරුව දිවියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බෙවන් කොන්ග්ඩන් අභාවයට පත්ව තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම ලැබු පළමු ටෙස්ට් ජයග්‍රහණය ද වාර්තා කළේ ඔහුගේ නායකත්වය යටතේයි.
ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව නවසීලන්තය 1974 වසරේදී සිය පළමු ටෙස්ට් ජය ලබාගෙන තිබෙනවා.
බෙවන් කොන්ග්ඩන්ගේ 80 වන ජන්ම දිනයට එක් දිනක් පමණක් ඉතිරිව තිබියදීයි ඔහු මියගොස් ඇත්තේ.
1965 වසරේ පළමු වරට නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමට පිවිසි කොන්ග්ඩන් සිය 13 වසරක තරග දිවිය තුල ටෙස්ට් තරග 61 කට ක්‍රීඩා කර තිබෙනවා.
බොහෝ දුරට පිතිකරණ ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටි ඔහු ලබාගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 3448 ක්.
එහිදී කඩුලු 59 ක් ද ලබාගෙන තිබෙනවා.
ශතක 7 ක් ද ඔහුගේ වාර්තා අතර ඇතුලත් වන අතර අඛණ්ඩව ලැබූ ශතක දෙකක් ද ඊට අයත්.
එංගලන්තයේ ටෙ‍්‍රන්ට් බ්‍රිජ් සහ ලෝඩ්ස් ක්‍රීඩාංගණවලදී එම ශතක ලැබුවේ 1973 වසරේදීයි.
ටෙ‍්‍රන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී නවසීලන්ත අවසන් ඉනිමේ දී ඔහු ලකුණු 176 ක් රැස් කළේ ලකුණු 479 ක ඉලක්කයක් හඹා යමින් තිබියදීයි.
කෙසේවෙතත් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණි නවසීලන්ත කණ්ඩායම එම තරගය ලකුණු 38 කින් පරාජයට පත්වුනා.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් තරග 17 කට නායකත්වය ලබාදී ඇති බෙවන් කොන්ග්ඩන් ජයග්‍රහණය කළේ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පමණයි.
එමෙන්ම එක්දින තරගවල නවසීලන්ත වාර්තාවකට ද බෙවන් කොන්ග්ඩන් හිමිකම් කියනවා.
එනම් අඩුම ඉනිම් සංඛ්‍යාවකදී අර්ධ ශතක දෙකක් සහ ශතකයක් ලබා ගැනීමයි.
ඔහු ඉනිම් 10 කදී මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා.
කිසිදු නවසීලන්ත පිතිකරුවෙකුට මෙතෙක් එම වාර්තාව අභිබවා යාමට හැකියාවක් ලැබී නැහැ.
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් වයිට් සඳහන් කළේ බෙවන් කොන්ග්ඩන් නවසීලන්ත කණ්ඩායම වෙත ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම වෙනුවෙන් වැදගත් කාර්ය භාර්යයක් ඉටු කළ බවයි.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තලයට රැගෙන ඒම තුල ඔහුගේ නම ඉතිහාස ගතවන බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා කියාසිටියේ.
ඔහුගේ අභාවය පිළිබඳ ලෝකයම කණගාටු වනු ඇතැයි ද ඩේවිඩ් වයිට් පෙන්වා දෙනවා.