Gossips

කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් සහ මගපෙන්වීමක් ඉල්ලා තිසර කියූ අමුතුම කතාව

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ගේ බිරිඳ විසින් තමන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දක්වා තිබෙනවා.
ලසිත් මාලිංග ගේ බිරිඳ වන ටාන්යා පෙරේරා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කලක් පුරාවට මෙම ක්‍රියාව සිදුකර ගෙන පැමිණි බවත් ඉකුත් නවසිලන්ත සංචාරය අතර වාරයේදී එම තත්ත්වය උත්සන්න වූ බවයි තිසර පෙරේරා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
"නවසීලන්ත තරග සංචාරය අතර වාරයේදී මෙය උත්සන්න වීමත් සමඟ ඇතිවුයේ වචනයෙන් කිව නොහැකි තරම් මානසික පීඩනයක්. එය විස්තර කිරීමට පවා අපහසුයි" තිසර සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.
තමන් හට එල්ල කර තිබෙන චෝදනාව වුයේ කණ්ඩායමේ ස්ථානය රැක ගැනීම සඳහා අමාත්‍යවරුන් සහ ඉහල නිලධාරීන්ගේ සහය ලබා ගන්නා බවයි. නමුත් තමන් සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදුකරන තේරීම් ක්‍රියා මාර්ගයන් අනුගමනය කර ඇති බවත් කිසිදු අවස්ථාවක කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීමක් සිදුකර හෝ කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා කිසිවෙකු ගෙන් ඉල්ලීම් සිදුකර නොමැති බව තිසර සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම තමන්ව යලිත් වරක් කණ්ඩායමට කැඳවීමට පියවර ගැනීමෙන් පසුව සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් සිදුකර තිබෙන බවත් ඉකුත් 2018 වසරේදී තමන් දැක්වූ දක්ෂතාවයන් එයට හොඳම නිදසුන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම කිසිම අවස්ථාවක තමන් වෙතට පැවරුනු වගකීම් පැහැර හැර නොමැති බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරයේදී කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවේදී තමන් එය භාර ගැනීමට කටයුතු කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවිම ඉතා ගෞරවයක් කොට සලකන බව ඔහු කියා සිටිනවා. එමෙන්ම එම තරඟ සංචාරයෙන් පසුව පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩා කිරිමට හැකි බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් පවා ලබා දිමට හැකිවූ බව තිසර පෙරේරා සඳහන් කර සිටිනවා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින බලසම්පන්න නායකයෙකුගේ බිරිඳක් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිගින් දිගටම සිදුකරන මෙවන් චෝදනා සම්බන්ධයෙන් රටේ පොදු මහජනතාව විශ්වාස කරන බවත් ඒ හරහා ඔවුන් තුල තමා සම්බන්ධයෙන් ඇතිවන මඩ ගැසීම් නවතා ලීමට නොහැකි බවත් එවන් අවස්ථාවක ඇතිවන මානසික පීඩනය හේතුවෙන් එක් තරඟයකදී හෝ දස්කම් නොදැක්වුවා නම් කණ්ඩායමෙන් තමා ඉවත් කිරීමට පසුබට නොවන බවද ඔහු සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.
කණ්ඩායමේ සිටින ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙක් එකා මෙන් නොසිටීම හේතුවෙන් කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට එය යහපත් පුර්වාදර්ශයක් නොවන බවත් කණ්ඩායමක් ලෙසට අපට වෙන්ව ක්‍රීඩා කිරීමට නොහැකි. නායකයාගේ වගකීම විය යුත්තේ ක්‍රීඩා කිරීමේ සැලසුම් සකස් කිරීමට පෙර කණ්ඩායම තුල එකමුතුකම සහ ස්ථාවරත්වය ඇති කිරීමයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති නොවු බවට තමා අකමැත්තෙන් වුවත් මේ අවස්ථාවේදී තමා ප්‍රකාශ කර සිටින බවයි තිසර පෙරේරා සිය ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
"කිසිවෙකුත් ක්‍රීඩා කරන්නේ පරදින්න බලාගෙන නොවෙයි. පසුගිය නවසීලන්ත සංචාරයේදී මගේ ක්‍රීඩා විලාශය දිහා විමසීමෙන් බැලුවහොත් එය ඕනෑම අයෙකුට තේරුම් කර ගත හැකි වේවි. ජනතාවගේ පිළිගැනීම ඇති ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් සිදුකරන මෙවැනි ක්‍රියාවන් නවතාලිමට වහාම මැදිහත් වන ලෙස තමා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරනු ලබන ප්‍රකාශයන් හේතුවෙන් මාගේ විශ්වාසය පළුදු කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබෙනවා. මෙය ඉතා විහිළු සහගත කරුණක්."
"එක් අයෙකුගේ පෞද්ගලික් උවමනාවන් හේතුවෙන් අද මේ වනවිට අප මුළු රටක් ඉදිරියේ සිනහවට ලක්ව සිටිනවා. මෙවන් අවස්ථාකදී මෙය සැහැල්ලුවෙන් සිතීමට නොහැකි."
"අද අප රැදී සිටින්නේ ලෝක කුසලාන තරගයක් ආසන්නයේ. අපගේ අවධානය විය යුත්තේ දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීම ගැන විනා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවන මෙවන් දේ පිළිබඳව නොවෙයි. අප කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් සහ මගපෙන්වීමක් අවශ්‍ය සිටින කාලයක් මෙය. කණ්ඩාම් සාමුහිකත්වය ඇති කරලීම වඩා වැදගත් වී තිබෙනවා. කණ්ඩායමක් ලෙස සාමුහිකත්වය නොමැතිවීම මේ වන විට අප කණ්ඩායම තුල දැඩි අඩුවක් වී තිබෙනවා. ලෝක කුසලානයට යාමට පෙර මෙම අඩුවන් සම්පුර්ණ කර ගැනීම අනිවාර්යයි. අප ඉදිරියට යා යුත්තේ එකාමෙන් කණ්ඩායමක් ලෙසට එසේත් නොමැතිව බෙදී ගිය පිරිසක් ලෙස නොවෙයි."
මෙම කරුණු සම්බන්ධයෙන් සිතා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා මෙන් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව තිසර පෙරේරා විසින් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
එම සම්පූර්ණ ලිපිය පහතින්….