Gossips

කච්චතිව් මංගල්‍යයට නැවතත් ඉන්දීය බැතිමතුන් (ඡායාරූප)

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීම සඳහා මෙරට සහ ඉන්දීය බැතිමතුන් පැමිණෙමින් සිටින බව නාවික හමුදාව පවසනවා.
දේවස්ථානයේ අද (23) රාත්‍රියේ සහ හෙට උදෑසන පූජාවන් පැවැත්වෙන අතර, ඊට ඉන්දීය බැතිමතුන් 4,000 ත්, 5,000 ත් අතර පිරිසක් සහභාගිවීමට නියමිතව ඇති බවයි පසුගියදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායගම් ප්‍රකාශ කළේ.
සහභාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට සියලූ කටයුතු සූදානම් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය සඳහා පසුගිය වසරේ ඉන්දියානුවන් කිසිවෙකුත් පැමිණියේ නැහැ.
ඒ, ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරයේදී නාවික හමුදා ප්‍රහාරවලට ලක්වන බවට චෝදනා කරමින්.
කෙසේ නමුත්, මෙවර කච්චතිව් මංගල්‍යයට පෙර මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයන් 109 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.
මේ වසර තුළ එලෙස අත්අඩංගුවට පත් වූ තවත් ඉන්දීය ධීවරයන් 20 දෙනෙකුට නිදහස ලබාදීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මුහුදු තීරයේ මසුන් මැරීම සඳහා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 42 ක් ද පසුගිය වසරේ නිදහස් කළ අතර, ඉන් 30 ක් දැනටමත් ඉන්දියාවට ගෙන ගොස් තිබෙනවා.