Gossips

කංජිපානිගේ ප්‍රධාන වෙඩික්කරුවෙක් ජම්පටා වීදියේදී අත්අඩංගුවට

ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ජී.රිස්වාන් නමැත්තා ජම්පටා වීදියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුගිය වසරේ කොළඹ ප්‍රදේශ 4ක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධි 4 ක ප්‍රධාන වෙඩික්කරු වන්නේ ද මෙම පුද්ගලයායි.
එමෙන්ම, ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ද පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු ද කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
ඔහු කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තැබූ පුද්ගලයායි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 480ක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම් දෙකම සිදුකර ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 11 සිට අද අලූයම දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
මෙම මෙහෙයුමේදී විවිධ වරෙන්තු සම්බන්ධයෙන් පුද්ගලයින් 938 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3711ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, පන්නිපිටිය – දෙපානම – අරලිය උයන මංසන්ධිය අසළදී ඊයේ රාත්‍රී හමුවූ වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක කරන බව පොලීසිය පවසනවා.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ එම පුද්ගලයාට එරෙහිව කොල්ලකෑම් සහ අපරාධ සම්බන්ධයෙන් කොටහේන පොලිස් ස්ථානයෙන් වරෙන්තු කිහිපයක්ද පවතින බවයි.