Gossips

ඖෂධවේදීන්ගේ හදිසි වර්ජනයෙන් රෝගීන්ට බාධා

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දිවයින පුරා දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධාගාර වසා දමා ඇති අතර, බාහිර රෝගී අංශයෙන් සහ සායනවලට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් විසින් අනුමත කරන ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ නිසි අවශ්‍යතාවක් නොමැතිව ඖෂධවේදීන් බදවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද දිනයේ මෙම සංකේත වැඩ වර්ජනය දියත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ළමා හා මාතෘ රෝහල්වල මෙන්ම වකුගඩු සහ පිළිකා රෝහලේ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ඔහු කියා සිටියා.
ඖෂධවේදීන්ගේ මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ඖෂධ ගැනීම සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට නැවත හැරී යාමට සිදුවුණා.
ඉන් ප්‍රදේශ ගණනාවක රජයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම ගැටළුව පිළිබදව අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, ඖෂධවේදීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ ලබාදීමට බාධාවක් සිදුව නොමැති බව ඔහු සඳහන් කළා.