Gossips

ඕස්ට්‍රේලියානු කිරි දෙනුන් නිසා මෙරට කිරි ගොවියා අසරණ වේ

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලබාදුන් කිරි දෙනුන්ගෙන් අපේක්ෂිත ආදායම නොලැබීම නිසා කිරි ගොවීන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි වාර්තාවනවා.
ඇතැම් ගොවීන්ගේ දේපළද බැංකු විසින් වෙන්දේසියේ විකිණීමට පවා තීරණය කර ඇති අතර, තවත් ගොවීන් පිරිසක් ණය පියවා ගත නොහැකිව දැඩි අසීරුතාවන්ට පත්ව සිටින බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, මාතලේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගොවීන් කියා සිටියේ.
මාතලේ – පල්ලෙපොල අලූත්ගම ප්‍රදේශයේ පදිංචි කිරි ගොවියෙකු වූ අරුණ සමන් කුමාර සහ ඔහුගේ බිරිඳ මෙම තත්වය හමුවේ තමන් පත්ව ඇති අසීරුතාවන් පිළිබඳ අදහස් පළ කරමින් කියා සිටියේ පදිංචි ඉඩම සහ නිවසද වෙන්දේසි කිරීම සඳහා වූ තත්ත්වයකට මේ වනවිට සිය පවුල පත්ව ඇති බවයි.
රජයේ විශ්වාසය මත කිරිදෙනුන් මිලදී ගනිමින් ආදායමක් ලබාගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවූයේ අපේක්ෂිත ආදායම කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුන්වාදුන් අදාළ ව්‍යාපෘතියෙන් නොලැබුණු බවද ඔවුන් සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ සමස්ත ලංකා කිරි ගොවි ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සුසන්ත කුමාර සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ වගකීමෙන් යුක්තව කෘෂිකර්ම අමාත්‍යාංශය සිය කටයුතු සිදුකළ යුතු බවයි.