Gossips

ඕනෑම ආක්‍රමණයකට සූදානම් කියපු හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ ඡායාරූප ක්‍රීඩාංගණවලින් ඉවතට

ලොවම හඳුනන සුපිරි ක්‍රිකට් තරුවකගේ ඡායාරූප ඉන්දීය ක්‍රීඩාංගණවලින් ඉවත්කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස ක්‍රීඩාංගණවලින් ඉවත්කර ඇත්තේ පාක්සිතානයේ හිටපු සුපිරි නායක ඉම්රාන් ඛාන්ගේ ඡායාරූපයි.
කාශ්මීරයේදී ඉන්දීය සෙබළුන් 41 ක්‌ ඝාතනය කිරීමට විරෝධය පළකිරීම සඳහා මෙලෙස ඔහුගේ ඡායාරූප ක්‍රීඩාංගණවලින් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වර්ෂ 1992 දී පාකිස්තානය ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමත් සමඟ ඉන්දීය ක්‍රීඩාංගණවල ඔහුගේ ඡායරූප සවිකර තිබෙනවා.
මේ අතර ඉන්දියාව විසින් සිදුකරන ඕනෑම ආක්‍රමණයකදී තීරණාත්මක සහ පරිපූර්ණ ප්‍රතිචාරක් දැක්වීමට පාකිස්තානය සූදානම් බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඒ සඳහා පාකිස්තාන ආරක්ෂක හමුදා වෙත පූර්ණ බලතල පවරා ඇති බවයි.
ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරයට පාකිස්තානය කවරාකාරයකින් හෝ සම්බන්ධ නොමැති බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කළා.
ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කළ ඔහු කියා සිටියේ එය කාශ්මීරය තුළම සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති ප්‍රහාරයක් බවයි.
කෙසේ නමුත්, පාකිස්තානය කේන්ද්‍ර කොට ගත් ජයිෂ් – ඉ – මොහොමඩ් ත්‍රස්ත කල්ලිය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව, පාකිස්තානය වෙත ඍජුවම චෝදනා එල්ල කරනවා.