Gossips

ඔරුගොඩවත්ත කන්ටේනරයේ හිමිකරු සොයා පරීක්ෂණ

ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගත් රුපියල් කෝටියකට අධික විදෙස් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළේ එම කන්ටේනරයේ හිමිකරු සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණ වී නොමැති බවයි.
ඉතාලියේ සිට මෙම මත්ද්‍රව්‍ය සහ මත්පැන් එවා තිබුණද එය ලැබිය යුතු ලිපිනයක් හෝ පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ නැහැ.
ඊයේ සොයාගත් මෙම මත්ද්‍රව්‍ය සහ මත්පැන් අතර රුපියල් මිලියන 2.9 ක වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 945 ක් සහ කුෂ් නැමති ගංජා කිලෝග්‍රෑම් 2 ක්ද පැවතියා.
ඊට අමතරව විදේශීය සැර මත්පැන් බෝතල් 220 ක්, වයින් බෝතල් 225 ක් සහ බීර ටින් 100ක්ද රේගු භාරයට ගෙන තිබෙනවා.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිෂ්කාශක නියෝජිතයෙකු සහ වාප්පු ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළේ.
මේ අතර හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 100 ක් සමඟ ගනේමුල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් එක් ලක්ෂ 80,000 ක් පමණ වන බවයි.
35 හැවිරිදි සැකකරු මීට පෙර ජාඇළ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැළක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ අයෙකු බවටද තොරතුරු ලැබී තිබෙනවා.
එසේම හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද නියෝග කළා.
හෙරොයින් ග්‍රෑම් 7යි දශම දෙකයි එකක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 මාර්තු 22 වනදායි.