Gossips

ඒකාබද්ධ විපක්ෂය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.
පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යාම හේතුවෙන් අදාළ පනත තුන්වන වර කියවීමේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ පනත් කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභා ගර්භයේ රැඳී සිටි අතර, එහිදී මෙම පනතට පක්ෂව ඡන්ද 51ක් සහ විපක්ෂව ඡන්ද 33ක් ලැබී තිබුණා.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී නොසිටි අමාත්‍ය එස්.බී. දිසානායක ඡුන්දය ප්‍රකාශ කර ඇති බවට ඩිජිටල් පුවරුවේ සටහන් වීමත් සමඟ ඒ පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කථානායකවරයාට දැනුම් දෙනු ලැබූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
අනතුරුව පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ ඇගිලි සලකුණ සටහන්වීම පිළිබදව විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී සභාව විනාඩි කිහිපයකට කල් තබා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමටයි කථානායකවරයා පියවර ගත්තේ.
පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගිය අතර දෙවන වර කියවීමට අදාළව යළි ඡන්ද විමසීමක් සිදුකෙරුණා.
එහිදී ඊට පක්ෂව ඡන්ද 53ක් හිමි වූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද දෙකක් පමණයි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එහිදී විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙනවා.
පසුව තුන්වන වර කියවීමේදී පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා.
මේ අතර, සක්‍රීය බැරකම් කළමනාකරණ පනත සම්මත කිරීමට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම පනත සම්මත කර ගැනීමට අදාළව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ක්‍රමවේදය නිත්‍යානුකූල නොවන බවයි.
මෙම පනත සම්මත වීමට පෙර ද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා.
මේ අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත වීමට එරෙහිව ඡන්දය භාවිත කළ ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයට එරෙහිව දැවැන්ත විරෝධතා දියත් කළ යුතු බවයි.
එසේම ඊයේ (23) පැවැති විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බවයි.