Gossips

ඒකාබද්ධය ස්වාධීනවීමට ඉල්ලයි – 16 යළි හමුවේ

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 දක්වා වැඩි වී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟම විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම 70 දක්වා ඉහළ යනවා.
මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ලෙස නොසලකා, වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සහ විපක්ෂ නායක ධුරය එම කණ්ඩායමට ලබා ගත යුතු බවටයි ඒකාබද්ධ විපක්ෂයේ තීරණය වී ඇත්තේ.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමට පෙර, ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ලබන සඳුදා වෙනම හමුවී යළි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
සඳුදා පස්වරු 4ට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වන අතර, ඊට 16යේ කණ්ඩායම ද සහභාගි වන බව පසුගිය දා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඊට පෙර හමුවී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතවීමට තීරණය කළ බවයි එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ.
මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව 16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මින් ඉදිරියට 16යේ කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නොමැති බවයි.