Gossips

ඒකාබද්ධය නුගේගොඩ රැලියත් කල් දමයි

හෙට (07දා) නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන හමුව අවලංගු කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
රට තුළ උද්ගතව ඇති තත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹුන බවයි අදාළ ට්විටර් පණිවුඩය මගින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
අදාළ පණිවුඩය පහතින්.

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේදී නුගේගොඩ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය කල්දමා තිබෙනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය අද භාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එය නුදුරු දිනයකදී භාරදීමට කටයුතු කරන බවයි.
ඊට අදාළව කටයුතු කිරීම සඳහා රහස්‍ය කමිටු 03 ක් පත්කළ බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ කියා සිටියේ.
මේ අතර දින 10ක කාලයක් සඳහා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
එමෙන්ම තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිගන ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද පිටත් කර යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුම් මුල් කර ගනිමින් නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර, ඉන් අනතුරුවයි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (05) පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ.
එමෙන්ම ඇති වූ කලහකාරී සිද්ධියත් සමඟ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියළුම පාසල් අද (06) දිනයේ වසා තැබීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
මේ අතර, ආගමික අසමගිය ඇති කරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා නීතිය නිර්පාක්ෂිකව මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරනවා.
අපරාධ කරන්නවුන්ට සහ නීතිය හා සාමය කඩ කරන්නන්ට එරෙහිව ස්ථීර සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය නොපැකිලෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති අතර, නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ලෙස එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.
පූජනීය ස්ථාන, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සමහරකට හානි සිදුකළ අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතකදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව හා තරයේ හෙළා දකින බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිගන සහ තෙල්දෙනිය ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් බවයි.