Gossips

ඒකාබද්ධය අගමැති කාර්යාලය වැටලීමට සැරසේ

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීමට එරෙහිව අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා විරෝධතාවයක නිරතවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඊයේ පැවති එහි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ලබන මස කොළඹ දී සංවිධාන කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට පෙර මෙය සිදු කරන බවයි එහි මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් විමසීම සඳහා ඊයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුණ ගැසුණා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එය ඉන්දියාවට බදු දීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගත් තීරණයක් බවයි.
ඒ අනුවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා ඉදිරියේදී විරෝධතාවක් සංවිධාන කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.
ඊට අමතරව දැනට කාලය ඉක්මවා ඇති උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව ද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඊයේ පැවති රැස්වීමේදී සාකච්ජා වී තිබෙනවා.
ඒ අනුව අදාල පළාත්වල ඉදිරි දින වලදී මෙම විරෝධතාවන් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා කියා සිටියා.
මෙම රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශණ යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ රැස්වීමට ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහභාගි නොවූ බවයි වාර්තා වන්නේ.