ඒකාධිපති පාලනයකට සහ ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන අවධාරණය කරනවා.
2015 ජනවාරි 8 වනදා මෙරට ජනතාව රටේ පාලනයේ වෙනසකට දායක වුයේ එදා රට තුල මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එම අත්දැකීම් අමතක වූ පිරිස් යළිත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 8 වනදා රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන අවධාරණය කළා.
අද පෙරවරුවේ නිකවැරටිය ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෛත්රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.
ඔහු එහිදී කියාසිටියේ ඒකාධිපති පාලනයක යුගය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස සහ ප්රජාතන්ත්රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් වර්තමානයේදී රට තුළ තහවුරු කර ඇති බවයි.
පන නැති පාලනයක් ලෙසට වත්මන් පාලනය හඳුන්වාදීමට ඇතමුන් කටයුතු කළ ද එය නිදහස සහ ප්රජාතන්ත්රවාදය සමග යන ගමනක් බව ඔවුන් සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
ලැබී ඇති නිදහස සහ ප්රජාතන්ත්රවාදය වැරදි අන්දමින් භාවිත කරමින් රජයට පහරදීමට ඇතමුන් කටයුතු කළ ද රටේ උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලුදෙනා එක්කර ගනිමින් රට ඉදිරියට ගෙන යන බවයි මෛත්රීපාල සිරිසේන මහතා කියාසිටියේ.