Gossips

එ.ජා.පෙ. තීරණාත්මක සාකච්ඡා දෙකක් අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව එල්ලවී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (29) පැවැත්වෙනවා.
පෙරවරු 9 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර, එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් ද අද (29) පැවැත්වීමට නියමිතයි.
පස්වරු 04 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පෙරේදා සුවසිරිපායේදී හමුවී විශේෂ සාකච්ඡාවකද නිරතවුණා.
එහිදී විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමටයි එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇත්තේ.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුණ රණතුංග, රාවුෆ් හකීම්, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ චතුර සේනාරත්න එක්ව සිටියා.
එහිදී එළඹි තීන්දු තීරණ පිළිබඳව අද අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.