Gossips

එස්.ටී.එෆ්. සමඟ වෙඩි හුවමාරුවෙන් පසු පලා ගිය දෙදෙනා සොයා විල්පිට රක්ෂිතයේ දැවැන්ත මෙහෙයුමක්

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ රාත්‍රියේ ඇති වූ වෙඩි හුවමාරුවේදී පළා ගිය සැකකරුවන් දෙදෙනා සොයා අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කළ බවයි.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
අකුරැස්ස සිට කඹුරුපිටිය දෙසට අවි ගත් කණ්ඩායමක් ත්‍රිරෝද රථයකින් ගමන් කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මාර්ග බාධක යොදා මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
එහිදී කඹුරුපිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙසට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අණ කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරුව අදාළ ත්‍රිරෝද රථය විල්පිට රක්ෂිතය දෙසට වන මාර්ගයකට හරවා එහි සිටි මෙම තිලක් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා තිබෙනවා.
එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ඔහු බරපතල තුවාල ලබා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර, අනෙක් දෙදෙනා පළා ගොස් තිබුණා.
පසුව එම ස්ථානයේ තිබී ටී – 56 වර්ගයේ ගිනි අවියක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සොයා ගනු ලැබුවා.
මිය ගිය මානෙල් රෝහණ හෙවත් තිලක් නැමති පුද්ගලයා දැනට විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් සමඟ කුඩා කල සිට එකට හැදී වැඩී ඇති බව සඳහන්.
මොහු මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඔහු ඇතුළු මෙම පිරිස ගමන් කළ ත්‍රිරෝද රථය කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මිය ගිය තිලක් නැමැත්තා කැළණිය, මීගමුව ප්‍රදේශයේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වුණා.