Gossips

එස්.එෆ්. බණ්ඩා ඝාතනයට එස්.ටී.එෆ් නිලධාරියෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන නොච්චියාගම ටී.එම්.සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ පැය 48ක් සැකකරුගෙන් රදවාගෙන ප්‍රශ්න කරන ලෙසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ත්‍රිත්ව ඝාතනය සිදුවන සමයේ අනුරාධපුර – උළුක්කුලම – පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක්.
මෙම ඝාතනයට සම්බන්ධ ටී – 56 ගිනි අවි 4ක් ද පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේප්පුවක් බිඳ මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ඝාතන සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගනු ලැබුවා.
ඒ අනුව, අනුරාධපුර පොලීසියේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙකු ඇතුළු ආරක්ෂක අංශයේ සිව් දෙනෙකු සහ නොච්චියාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙම ඝාතනයට සම්බන්ධ බවට අනාවරණ වුණා.
එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අදාළ මූල්‍ය ආයතන බිඳ රුපියල් කෝටි 7ක රන් භාණ්ඩ හා මුදල් ද සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බව පසුව හෙළිදරව් වී තිබෙනවා.
අනුරාධපුර – තිරප්පනේ – කුරුවිල මාර්ගයේ දී 2016 වසරේ අප්‍රේල් 30 වනදා එස්.එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.