Gossips

එල්.ටී.ටී.ඊ. රැඳවියන් 55 ක් බන්ධනාගාර දෙකක ආහාර වර්ජනයක

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු තවමත් ආහාර වර්ජනයේ නිරතවනවා.
ඊයේ පෙරවරුවේ සිට මොවුන් මෙලෙස ආහාර වර්ජනයක නිරතවන්නේ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.
මේ අතර දින 22 ක් පුරා අනුරාධපුර බන්ධනාගාරයේ ද එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 12 දෙනෙකු ආහාර වර්ජනයේ නිරතවනවා.
අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල, නීතිපති ජයන්ත ජයසූරිය සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මොවුන්ගේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වුණේ පෙරේදා දිනයේයි.
එහෙත් එම සාකච්ජා විසදුමකින් තොරව අවසන් වීම නිසා ආහාර වර්ජනයේ නිරත වූ අනුරාධපුර බන්ධාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් තවදුරටත් සිය වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි ඊට සහයෝගය පළ කරමින් වැලිකඩ බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු ආහාර වර්ජනය ආරම්භ කළේ.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු එම්.සත්‍යවේල් පියතුමා කියා සිටියේ අදාළ සිරකරුවන්ගේ ගැටළුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය ප්‍රමාදවීම කණගාටුවට කරුණක් බවයි.