Gossips

එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම් (ඡායාරූප)

එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේ ඊයේ (29) දිනයේයි.
ඒ ඔස්සේ ආරම්භ කළ විමර්ශණයේදී සී.සී.ටී.වි දර්ශණ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මුගුරක් අතැතිව සිටි මෙම පොලිස් නිලධාරීයා හදුනාගෙන ඇති අතර ඒ අනුව මොහුගේ වැඩ තහනම් කළ බවයි ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම විහාරාස්ථානයේ විහාරාධිපති ධුරයේ මීට පෙර කටයුතු කළ භික්ෂුන්වහන්සේ නමක් යළිත් එම විහාරස්ථානයට පැමිණීමට එරෙහිවයි ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වූයේ පෙරේදා දිනයේදියි.
එම විරෝධතාවය මැඬ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගත්තා.
මෙම සිද්ධියේ දී තමන්ට පොලීසිය පහරදුන් බව පවසමින් කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා.
මෙලෙස රෝහල්ගත වී ඇත්තේ විරෝධතාවය අතරතුර එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු කාන්තාවන් දෙදෙනෙක්.
කෙසේ වෙතත්, සිද්ධියට අදාළ හිමිනමට එරෙහිව අධිකරණයෙන් මීට පෙර නියෝගයක් ද ලබාගෙන ඇති බවයි ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.


(ඡායාරූප – තිසර සෝමරත්න – එප්පාවල )