Gossips

එජාප සභාපති කබීර් – මහ ලේකම් අකිල – ජාතික සංවිධායක නවීන් – දේශපාලන මණ්ඩල තීන්දුව අද කෘත්‍යාධිකාරියට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ සිදුකෙරුණා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් නම් කෙරුණු අතර, මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නම් කර තිබුණා.
මීට පෙර පක්ෂයේ සභාපති ධුරය අමාත්‍ය මලික් සමරවික්‍රම දරණු ලැබූ අතර, මහලේකම්වරයා ලෙස කටයුතු කළේ අමාත්‍ය කබීර් හෂීම්.
එමෙන්ම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළා.
එමෙන්ම ජාතික සංවිධායක ධුරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික ධුරයට ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා නම් කිරීමටයි එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය ඊයේ තීරණය කළේ.
මීට පෙර එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය දයා ගමගේයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නායකත්වය, නියෝජ්‍ය නායකත්වය සහ උප නායක ධුරය වෙනස් නොකිරීමටද දේශපාලන මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව පක්ෂ නායකවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කරනු ඇති අතර, නියෝජ්‍ය නායකත්වයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ උපනායක ධුරයේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කටයුතු කරනු ඇති බවයි වාර්තාවන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙම රැස්වීම පැය 2කට ආසන්න කාලයක් පැවතුණා.
ඊයේ දේශපාලන මණ්ඩලයේදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සඳහා නම් කෙරුණු පුද්ගලයින්ට අනුමැතිය ලබාගැනීම සඳහා අද පෙරවරුවේ රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දේශපාලන මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ නායක රනිල් වික්‍රමසිංහ විසින් අදාළ නම් කිරීම් සිදුකළ බවත් ඊට දේශපාලන මණ්ඩලය කැමැත්ත පළ කළ බවයි.
කෙසේ වෙතත් ඡුන්දයකින් මෙම තනතුරු පත් කළේනම් තමා වඩාත් කැමති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමට ප්‍රථම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.
එහිදී ඔවුන් අවධාරණය කර තිබුණේ පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නවක මුහුණු පත් කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කමිටුව කළ නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවටයි.
එමෙන්ම පක්ෂයේ සියලු තනතුරු රහස් ජන්දයකින් තෝරා ගතයුතු බවටද පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දී තිබුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යයක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට පසුගියදා තීරණය කෙරුණා.
ඒ අනුව ජන සන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම සහ සාමාජිකයන් බදවා ගැනීම මෙන්ම ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම සඳහා නිලධාරීන් තුන්දෙනෙකුට බලය පැවරෙනු ඇති.