Gossips

එජාප මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වූ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප සහ රුපියල් දසදහසක මුදල් ඇප මත මන්ත්‍රීවරයා මුදාහැරීමටයි.
මීට අමතරව සෑම ඉරිදා දිනකම බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසටද ඔහුට නියෝග කර තිබෙනවා.
මන්ත්‍රීවරයා අද පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු මීට පෙර අත්අඩංගුවට ගත් අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්තගේ රාජකාරි නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුටයි මන්ත්‍රීවරයා විසින් පසුගිය ඉරිදා බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී පහරදී තිබුණේ.