Gossips

එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි, අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම්

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසිය, අද අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම, මන්ත්‍රීවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා ද දැනුවත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු අද අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පහරදීමෙන් තුවාල ලැබුයේ බණ්ඩාරවෙල පොලීසියට අනුයුක්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙක්.
පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් වාහනයට බණ්ඩාරවෙල නගරයේදී මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ඉස්සර කර ඇති අතර, පසුව යළිත් කොස්තාපල්වරයා ගමන් කළ වාහනය මන්ත්‍රීවරයාගේ වාහනයට ඉස්සර කිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.
පහරදීමෙන් තුවාල ලද කොස්තාපල්වරයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්තගේ රාජකාරි නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුටයි මෙලෙස මන්ත්‍රීවරයා පහරදී ඇත්තේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ඇරලවා වෙනත් කටයුත්තක් සඳහා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර, එම අවස්ථාවේදී වාහනයේ සිට ඇත්තේ ඔහු සහ රියදුරු පමණයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.