Gossips

එජාප පසුපෙළ ඔරුමිත්තනාඩු ගැන, පැහැදිලි කිරීමක් ඉල්ලයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ෆෙඩරල් ලක්ෂණ අන්තර්ගත වන්නේ නම් ඊට කිසිසේත් සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඊයේ (11) ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ඔරුමිත්තනාඩු වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා.
එසේම පොලීසිය, ශ්‍රී ලංකා ජාතික පොලීසියෙන් මෙන්ම පළාත්බද පොලිස් සේවාවකින් ද සමන්විත විය යුතු බවයි එම යෝජනාවල දැක්වුණේ.
දැනට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ සඳහන් ඔරුමිත්තනාඩු යන වචනයේ සැබෑ අර්ථය පිළිබදව පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මේ වන විට යෝජනා කර ඇති ව්‍යවස්ථාව තුළ රට බෙදන ෆෙඩරල් ලක්ෂණ අන්තර්ගත නොවන අතර, එබැවින් ඊට සහය පළ කිරීමට දැනට තීරණය කර ඇති බව ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (12) මහනුවර සංවිධාන කර තිබූ ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන් කියා සිටියේ මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම අතිශය භයාන කටයුත්තක් බවයි.
එය දෙමළ ජාතික සන්ධානයේ වුවමනාව මත ඉදිරිපත් කර ඇති බවත්, එම සන්ධානයේ අරමුණ ශ්‍රී ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කිරීම බවත් දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
ඒ නිසා ආණ්ඩු බලය රැක ගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විවිධ කටයුතු සිදුකරන බැවින් ආණ්ඩුවේ සිටීම පමණක් වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ බව ද ඔහු ජන හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.